top of page
Search

මහා වාලුකා ගගදිගෙ -3

  • Writer: Jeewe
    Jeewe
  • Apr 23, 2020
  • 4 min read

Updated: Nov 5, 2020

මහාවාලුකා නදිය හෙවත් මහවැලි ගංගාව 03 කොටස - දුම්බර මිටියාවත දිගේ...

පොල්ගොල්ල හැරවුමේ සිට ඉදිරියට ගලා යාමට පෙර මහවැලි බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබදව තොරතුරු බිදක් එකතු කිරීම මැනවි යැයි සිතේ. මහා ජල කදක් රැගෙන මහ මුහුද කරා ඇදෙන මහවැලියෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගත යුතු යැයි අනාදිමත් කාලයක සිට විවිධ අදහස් පළ වී තිබුණි. එහි මූලික සංවර්ධන සැලැස්ම සකස් වී ඇත්තේ වර්ෂ 1961 දී ය. ජල විදුලිය නිපදවීම, මහවැලි ජලය වියළි කලාපයේ ගොවිබිම් වෙත ගෙනයාම, මහවැලි නිම්නයේ ගංවතුර පාලනය, වියළි කලාපය ජනාවාසකරණය හා විරැකියාව අවම කිරීම යනාදී අරමුණු රාශියක් මෙහි මූලික අභිමතාර්ථ ලෙස දැක්විණි. මේ අනුව 1965 දී වසර තිහකින් නිමකිරීමේ අරමුණින් මහවැලි ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි. නමුත් විවිධ දේශපාලනික හේතූන් නිසාවෙන් මෙහි වැඩ ආරම්භ කිරීම දිනෙන් දින ප්‍රමාද විය. කෙසේ හෝ 1970 දී මෙහි පළමු ව්‍යාපෘතිය ලෙස 'පොල්ගොල්ල හැරවුම' ඉදිකිරීම ආරම්භ කරන ලද අතර එය 1976 දී ජනතා අයිතියට පත් කෙරිණි. පොල්ගොල්ල හැරවුමෙන් භූගත මාර්ගයක් හරහා ගෙන යන ජලය උකුවෙල දී ජල විදුලිය උත්පාදනයෙන් මෙගාවොට් 40 ක් ජනනය කිරීම එහි අරමුණු විය. අනතුරුව බලයට පැමිණි රජය විසින් වසර තිහකින් නිම කිරීම ට තිබූ ව්‍යාපෘතිය 'කඩිනම් මහවැලි ව්‍යාපෘතිය' ලෙස නම් කරමින් වසර 5 කින් නිම කිරීමට සැලසුම් කරන ලදි. 1971 කැරැල්ල ද මෙම ව්‍යාපෘතිය ඉක්මන් කරවීමට හේතුවක් විය. ප්‍රධාන වශයෙන් 'මහවැලි පංච මහා ජලාශ' ඉදිකිරීම ට පිරිවිතර සකස් කෙරිණි. එම ජලාශ වන්නේ 'කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය හා මොරගහකන්ද' යන ජලාශ යි. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය මෙහෙයවීමේ වගකීම පැවරුණේ අමාත්‍ය ගාමිණි දිසානායක මැතිදුන් හටයි. ඔහුගේ මෙහෙවරට උපහාර පිණිස කොත්මලේ ජලාශය, 'ගාමිණි දිසානයක ජලාශය' ලෙස නම්කර ඇත.


ගගවට කෝරළය දිගේ පැමිණි මහවැලිය දැන් පිවිස ඇත්තේ දුම්බර මිටියාවතට යි. එක් පසෙකින් පාතදුම්බර පෙදෙස ද අනික් පසින් හේවාහැට දනව්ව ද සීමා කරමින් ගලා බසින මහවැලිය ට මීළගට හමුවන්නේ තැන්නේකුඹුර කඩවත යි. දැන් ඇත්තේ මහවැලි ගග නොවේ. ඇත්තේ වික්ටෝරියා ජලාශයයි. මෙම ජලාශය ගොඩනැංවීම සදහා ආධාර කර ඇත්තේ බ්‍රිතාන්‍ය රජය වන අතර වික්ටෝරියා මහරැජිණිය සිහිගන්වනු වස් මෙම ජලාශය නම්‍යකරණය වී ඇත. හන්තාන නැගෙනහිර බෑවුම්වලින් ඇරඹී රටේමුල්ල, තලාතුඔය ආදී ප්‍රදේශ පසුකරමින් ගුරුදෙණිය ප්‍රදේශයේ දී වික්ටෝරියාව ට 'තලාතුඔය' එක් වේ. අතීතයේ දළදා මාලිගාවට බත සැපයූ ගොවිබිම් ගුරුදෙණිය ප්‍රදේශයේ පිහිටා තිබූ අතර වත්මනේදී එම ගොවිබිම් වික්ටෝරියාවේ සැතපී සිටී. තැන්නකුඹුර සිට මහවැලි ජලාශයන් ට සමාන්තර ව වැටී ඇති මහා මාර්ගය හදුන්වන්නේ 'මහවැලි රජ මාවත' ලෙස ය. දිවයිනේ ඇති අති සුන්දරත ම මාර්ගයන්ගෙන් එකක් ලෙස මෙම මාර්ගය බොහෝ දෙනාගේ සිත් දීනා ඇත.



වික්ටෝරියා ජලාශය 'W' අක්ෂරයේ හැඩයෙන් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත ව ඇත. වික්ටෝරියා දකුණු ඉවුරේ පිහිටා ඇති 'හාරගම' ගොවිපොළ හා උතුරු ඉවුරේ දිගන ප්‍රදේශයේ පිහිටා ඇති 'මහබේරියතැන්න' ගොවිපොළ දේශීය පශු අංශය සවිමත් කිරීමෙහිලා සුවිශාල මෙහෙයක් ඉටුකරයි. වික්ටෝරියා ඉස්මත්තේ පිහිටි තවත් සුවිශේෂි ස්ථානයක් ලෙස මයිලපිටිය 'රණවිරු ස්මාරකය' හැදින්විය හැක. දේශයේ ස්වාධිපත්‍යය උදෙසා තම ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිකරනු වස් මෙරට ඉදිවූ ප්‍රධානතම ස්මාරකය ලෙස මෙය හැදින්විය හැක. ඔබ කෙදිනක හෝ මෙම ස්ථානයෙන් ගමන් කරන්නේ නම් මදකට නැවතී ඔවුන ට ආචාර කිරීමට අමතක නොකරන්න.



මහවැලි රජ මාවතේ තවත් ඉදිරියට ගිය විට හමුවන්නේ සුන්දර ලූල්කදුර කදුකරයේ සිට මහවැලිය සිපගැනීමට පැමිණෙන 'මා ඔය' යි. දිවයිනේ ප්‍රධානතම අපනයන වැවිලි බෝගය වන තේ වගාවේ මෙරට තිඹිරිගෙය වන්නේ ලූල්කදුර වතුයායයි. ගලහා ප්‍රදේශය හරහා පහසුවෙන් ළගාවිය හැකි මෙම වතුයායේ වර්ෂ 1867 දී ස්කොට් ජාතික ජේම්ස් ටේලර් විසින් වාණිජ තේ වගාව ආරම්භ කරන ලදි. ගුරුගල් ඔය හා මුල් ඔය යන ජල දහරාවන් කිතුල්පේ ප්‍රදේශයේ දී එක් වී 'මා ඔය' නිර්මණය වේ. ගුරුගල් ඔය ආරම්භ වන ඉසව්වේ සිට මා ඔය දිගේ නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක වල මායිම වැටී ඇත. මා ඔය නිම්නය තවත් සුන්දර වන්නේ මෙහි ගොවීන් ගේ දස්කම් නිසාය. රළු බෑවුමක් ඇති මා ඔය නිමනය ඔප දමමින් පඩිපෙළක් බදු මනස්කාන්ත කෙත් යායක් මෙහි ගොවීන් ගේ කැපවීමෙන් නිර්මාණය වී ඇත. මෙම නිම්නය දෙපස පිහිටා ඇති හේවාහැට හා හගුරන්කෙත දිසාවන් වල පැරණි රසකතා ගොන්නක් ද ගිලී ඇත.




වික්ටෝරියාවේ උතුරු සීමාව හෙවත් මැදදුම්බර ඉස්මත්ත විශේෂ වන්නේ එහිදී තවත් අතුගංගාවන් දෙකක් මහවැලිය ට එක්වීම නිසා ය. ලෝක උරුම දුම්බර වනාන්තරය යනු මහවැලියේ ප්‍රධානත ම ජල පෝෂක ප්‍රදේශයකි. හෙක්ටයාර 21,000 ක වපසරියක විහිදී ඇති දුම්බර වනාන්තරයේ සෑම ජල බිදුවක් ම අවසානයේ මහවැලිය සිප ගනී. දුම්බර උස ම කන්ද වන ගොම්බානිය බෑවුම් වලින් හා බටදඩු කන්ද බෑවුම් වලින් ඇරඹී සුන්දර ගමන් මාර්ගයක් ඔස්සේ පැමිණ ඔරුතොට දී හුළු ගග වික්ටෝරියාව සිප ගනී. රංගල ප්‍රදේශයේ සිට ගලා එන කොට ගග ද මනස්කාන්ත දිය ඇලි දාමයක් නිර්මාණය් කරමින් හුළුගගත් සමග අත්වැල් බැද ගන්නී ය. හුළුගග ඉහළ නිම්නය දිය ඇලි වනින් ගහණ මෙරට සංචාරකයින් ගේ ඉමහත් ආකර්ෂණය ට ලක් වී ඇති පෙදෙසකි. දුම්බර මිටියාවතේ ඇති ප්‍රධානතම වෙළෙද නගරය වන්නේ 'තෙල්දෙණිය' නගරය යි. දැන් ඇත්තේ නව නගරය කි. පැරණි තෙල්දෙණි නගරය වික්ටෝරියා ජලාශ පතුලේ සෝ සුසුම් හෙළමින් වැතිර ගත්තී ය.


පැරණි තෙල්දෙණිය නගරයේ මතු වු නටබුන්

පැරණි තෙල්දෙණිය නගරය වික්ටෝරියාවට යටවීම සම්බන්ධ අපූරු කතාවක් පවති. වත්මන් වික්ටෝරියා ජලාශය ට යටවී ඇති භූමිය පෙරදී තෙල්දෙණිය නගරය ඇතුළු ගම්මාන රාශියක් පැවති ජනාකීර්ණ පෙදෙසකි. ජලාශය ඉදිකිරීමට ආසන්න අවස්ථාවක දී එක්තරා දේශපාලකයෙක් තෙල්දෙණිය නගරය ට පැමිණ ඇත. ඔහු ගේ ක්‍රියාකලාපය ට විරුද්ධ ව තෙල්දෙණියේ ජනතාව විසින් ඔහු ට 'හූ' සංග්‍රහයක් එල්ල කර තිබේ. මෙයට උරණ වූ එම තැනැත්තා තම පලිය එහි ජනතාවගෙන් ගත් බව පැවසේ. ඒ වික්ටෝරියා වේල්ල කලින් සැලසුම් කර තිබූ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් උස් ව බැදීමෙනි. මේ හේතුවෙන් මුල් සැලැස්මේ ජලයෙන් යට වීම ට නොතිබූ තෙල්දෙණිය නගරය, වික්ටෝරියාවට බිලිවී ඇත. මෙහි සත්‍යතාවය කෙසේ වුවද මෙම මතය බොහෝ දෙනා අතර ව්‍යාප්ත ව ඇත. වික්ටෝරියාවේ ජලය අඩුවන වියළි කාලයේ දී පැරණි තෙල්දෙණි නගරයේ නටඹුන් අදට ද දැක ගත හැකි ය. මහවැලි ව්‍යාපෘතිය යටතේ සිය පෞරාණික නිජබිම් අහිමි වූ 30,000ක පමණ ජනතාව දුම්බර මිටියාවතේ ඉහළ පෙදෙසේ වෙත හා වියළි කලාපය වෙත විතැන් කිරීම සිදුවිය. එම ජනයා ගේ කැපකිරීම් වල ට අප සැවොම ණයගැති ය. තෙල්දෙණිය නගරය මදක් පසුකොට ඉදිරිය ට යන විට මොරගහමුල දී 'ගල්මල් ඔය' වික්ටෝරියාව ට එක් වේ. දුම්බර කදුවල සිට තංගප්පුව, හීල් ඔය ආදී පෙදෙස් සරුසාර කරමින් පැමිණෙන ගල්මල් ඔය වික්ටෝරියා ව පෝෂණය කරන අවසාන දියවරයි. ඉන්පසුව මහවැලියේ සුවිසල් ජලකද අවුරාලන මහා කොන්ක්‍රීට් වේල්ල පිහිටා ඇත. මෙම වේල්ල දිගින් මීටර 520ක් හා උසින් මීටර 122(අඩි 400) ක් වන අතර එය දිවයිනේ උස ම වේල්ල යි. පෙරදී 'වික්ටෝරියා ඇල්ල' යනුවෙන් හැදින්වූ දිය ඇල්ලක් තිබී ඇති අතර වත්මනේ දී එවැන්නක් එහි දැක ගැනීම ට නොහැක. යළිත් වතාවක් මහවැලිය මැරී ඇත.

මැරුණු මහවැලිය කුකුලාගල සිට

වික්ටෝරියා ජල විදුලි බලාගාරය හකුරුතලේ ප්‍රදේශයේ පිහිටා ඇති අතර එමගින් මෙගාවොට් 210 ක විදුලි බලයක් ජාතික විදුලිබල සැපයීම ට එක්කරයි. මෙය මෙරට ජල විදුලි බලාගාරයකින් නිපදවන වැඩි ම ඒකක ප්‍රමාණය යි. විදුලි බලාගාරයෙන් පිටවන අතිරික්ත ජලය හකුරුතලේ දී යළිත් මහවැලි ය එක්වුවත් ඇයට ඉදිරියට යාමට අවසර නැත. ඉන් පසුව ඇත්තේ ලක්දිව ඉදිවූ විශාලතම ජලාශය වන 'රන්දෙණිගල ජලාශය' යි. දැන් මහවැලිය මේ පිවිසෙන්නේ උඩුදුම්බර හා වලපනේ දිසාවලට යි.....


සටහන - ජැකා


#මහවැලිගග #තුන #mahaweliriver (මූලාශ්‍ර : සිතියම්, ජනකතා හා පෞද්ගලික සංචාර ඇසුරිණි.)

 
 
 

Comments


bottom of page