මහා වාලුකා ගගදිගෙ -2
- Jeewe
- Apr 21, 2020
- 3 min read
මහා වාලුකා නදිය හෙවත් මහවැලි ගංගාව 02 කොටස- පස්බාගේ කෝරළයේ සිට ගගවට කෝරළය දිගේ...
වළාකුළු වනාන්තර වල සීතල දිය දහරාවන් ගෙන් ඉපිද විවිධ නම් පටබදිමින් ගල්කුළු අතුරින් පෙණ පිඩු නගමින් පැමිණ ඈ මේ සැරසෙනුයේ තම පරිණත විය ගෙවා දැමීමට යි. ඕ මෙතැන් සිට 'මහවැලි' නම් ලද්දී ය.

පෙර පැවති දගකාර ගමන දැන් නැත. ඇත්තේ ශාන්ත ගමනකි. පොල්වතුරේ සිට උලපනේ දෙසට පැමිණෙන විට මහවැලිය ට ඉහළින් වැටී ඇති පළමු පාලම හමුවේ. එය තරමක් අමුතු නිර්මාණයකි. එය අති දුර්ලභ 'යටිකුරු ආරුක්කු' පාලමකි. නමුත් මෙහි ජනයා අතර මෙම පාලම පරසිදු ව ඇත්තේ 'මෝඩයාගේ පාලම' ලෙස ය. බ්‍රිත්‍රාන්‍ය යුගයේ දී නිර්මාණය වූ මෙම පාලමේ ප්‍රධාන ඉංජිනේරුවා පාලමේ සැලැස්ම වැරදවා එය යටිකුරු කර නිමවා ඇති බව කියවේ. පසුව මේ පිළිබද ව උපන් ලැජ්ජාවෙන් ඔහු එම පාලමෙන් ම පැන මහවැලිය ට තම දිවි තොර කළ බව ද වැඩිදුරටත් කියවේ. හෙමි හෙමින් ගලා බසින මහවැලියේ නව ගමනට සවියක් එක්කරමින් එයට අටබාගේ ඔය එක්වන්නේ දැල්පිටිය ප්‍රදේශයෙන් ය. ලූල්කදුර රක්ෂිතයෙන් උපත ලබා පුපුරැස්ස ප්‍රදේශ හරහා ගලා එන අටබාගේ ඔය ට කොත්මලේ ජල විදුලි බලාගාරයෙන් පිටවන අතිරික්ත ජලය ද එකතු වේ. අටබාගේ ඔයෙන් ලැබුණු සවියත් සමගින් මහවැලිය මේ පිවිසෙණුයේ 'ගගසිරිපුර' ටයි. අතීතයේ දී හෙළ රජදරුවන ට රැකවරණය සපයමින් අම්බුළුවා අහස යට මහවැලි ඉවුරේ වැජඹෙන ගම්පොළ පුරය ඉතාමත් ශශ්‍රීක පුරයක් වේ. ගම්පොළ පසුකරමින් උඩපළාත හා උඩුනුවර වෙන් කරමින් ගලා බසින මහවැලිය ට මීළගට 'නිල්ලඹ ඔය' එක් වීම සිදුවේ. අයස්කාන්ත ගලහා කදු වළලු වලින් ඇරඹෙන සීත දිය දහරාවලින් උපත ලබා ගල්කුළු මැද්දෙන් ගලන නිල්ලඹ ඔය බොහෝ දෙනා අතර ප්‍රකට ව ඇත්තේ ස්නානය ට යෝග්‍යතම ජල ප්‍රභවයක් ලෙස ය. ගොඩපොළ දී එක් වූ නිල්ලඹ නදිය ට පසුව එක්වන ගෙලිඔය ත්, හන්තාන කදු වලින් පැමිණෙන ගල් ඔයත් මහවැලියේ ගමන ට සවියක් වේ. ඉන්පසුව පැණිදෙණිය ප්‍රදේශයේ දී යටිනුවර දනව්වේ සිට පැමිණෙන 'නානුඔය' ද මෙය ට එක්වේ. මහවැලි කොමළිය මීළගට ගමන් කරනුයේ ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂි ස්ථානයක් හිමිකරගන්නා 'පේරාදෙණිය සරසවි' බිම මැදින් ය. අරගල, නව නිර්මාණ, විවිධාකාරයේ රසකතා මෙන් ම ගුලි කර දැමූ මතකයන් ද සිහිපත් කරමින් මහවැලිය හෙමි හෙමින් ඉදිරියට ම ඇදේ. පේරාදෙණියේ දී මහවැලි ගග ඉහළින් ඉදිකරනු ලැබූ බුරුත දැවයෙන් කළ පාලම මාර්ග ඉතිහාසයේ විශේෂ සලකුණකි. පේරාදෙණි පාලම පසුකරමින් මහවැලිය මේ පිවිසෙනුයේ උතුම් දළදා සමිදුන් වැඩ සිටින 'සෙංකඩගල පුරවරයට' යි.


පේරාදෙණිය නගරයේ සිට මහවැලියේ දකුණු ඉවුරෙන් පිහිටා ඇත්තේ තවත් සොබා අසිරියෙන් අනූන ස්ථානයක් වන 'රාජකීය උද්භිද උද්‍යානය' යි. පොල්වතුරේ සිට මෙතෙක් දුර උතුර ට ගමන් කළ මහවැලිය ක්‍රමයෙන් දගර ගැසීම ට පටන් ගනී. ඒ 'ගග නෙරූ තැන්න' හෙවත් 'ගන්නෝරුවේ දීය. දියෝගෝ ද මේලෝ කස්ත්‍රෝ ප්‍රමුඛ පරංගින්, දෙවන රාජසිංහ රජු ප්‍රමුඛ සිංහලයින් විසින් පෙති ගසාලූ මෙම භූමිය අදටත් දිවයින පුරා ජයකෙහෙළි නංවන පින්වන් පුරවරයක් ලෙස ප්‍රකට ය. මෙම ප්‍රදේශයේ වැදගත්කම තවදුරටත් කියාපාමින් 'උද්‍යාන බෝග පර්‍යේෂණ ආයතනය' ඇතුළු ලාංකේය කෘෂිකර්මාන්තය නගා සිටුවීම ට උරදෙන ආයතන රැසක් මහවැලි නිම්නයේ ස්ථාපනය කොට ඇත. ගන්නෝරුව පසුකරමින් මහවැලිය පියමං කරනුයේ ගැටඹේ ප්‍රදේශයටයි. මහනුවර රාජධානිය යනු ස්වාභාවික පිහිටීම උපරිමය ට ප්‍රයෝජනයට ගත් භූමියකි. එහි තුන් පැත්තකින් මහවැලිය වට වී ඇති අතර අනික් පසින් හන්තාන කන්ද ආවරණය කරගෙන සිටී. එකල මහනුවර ට ඇතුළු වීමට තිබූ ප්‍රධාන තොටුපොළක් ලෙස ගැටඹේ තොට හැදින්විය හැක. උතුම් දළදා වහන්සේ වෙත පුද සත්කාර පිණිස පැවැත්වෙන දළදා පෙරහැර අවසානයේ දියකැපීම සිදුවන්නේ ද මෙම ප්‍රදේශයේ දී ය.
හෙමි හෙමින් ගලා බැසි මහවැලියට ඇගේ දගකාරකම් අමතක කිරීමට බැරි හැඩයි. යළිත් ඇය ගල්කුළු අතුරෙන් පෙණ කැටි නගමින් ගලා බසින්නී ය. මෙතෙක් පැමිණි සුවිසල් ජලකද ඉතාමත් පටු දෝණාවක් ඔස්සේ ගලා බසියි. මහවැලි ගගේ පටු ම ස්ථානය (මහවැලිය ලෙස හැදින්වීම ට ගත් පසු) හල්ලොළුව ප්‍රදේශයේ පිහිටයි.

මෙහි දකුණු ඉවුරේ තවත් සුවිශේෂි ස්මාරකයක් හමුවේ. ඒ නම් දෙවන ලෝක යුද්ධය ට සහභාගී වී දිවි පිදූවන් සිහි කරමින් ඉදි වී ඇති 'පොදු රාජ්‍ය මණ්ඩලීය සොහොන් කොත' යි. මෙම ප්‍රදේශය මෑත කාලයේදී වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ වදවී යාමේ තර්ජනයට දැඩිව මුහුණ පා ඇති 'ගඩයා' නම් ආවේණික මත්ස්‍යයා නිසා ය. මෙම ප්‍රදේශය ආශ්‍රිත ව ගඩයා මත්ස්‍යා බහුලව වාසය කරන අතර ඔවුන් ගේ පැවැත්මට කණකොකා හැඩලූයේ එහි කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම ආරම්භ කිරීමත් සමග ය. එම බලාගාරයේ ඉදිකිරීම් ගඩයා මත්ස්‍යයාගේ පැවැත්මට සෘජු තර්ජනයක් වූ අතර පරිසරවේදීන් ගේ හා ප්‍රජාවගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය නවතා දමන ලදි. මහවැලිය කටුගස්තොට පුරයේ දී තම ගමන වෙනස් කර නැගෙනහිර දෙසට ගමන් කිරීමට පටන් ගනී. කටුගස්තොටුපොළ ද සෙංකඩගලට පිවිසීම ට තිබූ කඩවත කි. අංකුඹුර කදුවල සිට හාරිස්පත්තුව පුරය මැදින් ගලන පිගා ඔය මහවැලිය සිපගන්නේ ද කටුගස්තොට දී ය. මෙම තෙමංසල සුවිශේෂි ය. ඒ පැරණි ත්‍රී සිංහලයෙහි සීමා ව මෙම ස්ථානයෙන් නිර්ණය වූ නිසා ය. මහවැලිය ට දකුණින් වූ භූමිය රුහුණු රට ලෙසත් (මහනුවරත් ඇතුළුව), මහවැලිය ට උතුරින් පිගා ඔය ට බටහිරෙන් වූ පෙදෙස මායා රට ලෙසත්, පිගා ඔය ට නැගෙනහිරෙන් වූ පෙදෙස පිහිටි රට ලෙසත් හැදින්වීය. කටුගස්තොට නගරය පසුකොට මදක් ඉදිරියට ගිය විට මහවැලි ව්‍යාපෘතියේ සිදුවූ පළමු ඉදිකිරීම දැකගත හැකි ය. ඒ පොල්ගොල්ල හැරවුමයි. පොල්ගොල්ලේ දී මහවැලිය හරස් කොට වේල්ලක් බැද එහි ජලය උමං මාර්ගයක් හරහා රැගෙන ගොස් උකුවෙල දී විදුලිය නිපදවීම ට යොදාගනී. මහවැලි ව්‍යාපෘතිය යනු නිදහසින් පසු මෙරට සිදුවූ විශාලතම බහුකාර්‍ය යෝජනා ක්‍රමය යි. මෙතෙක් වේලා තෙත් කලාපයේ ගමන් ගත් මහවැලිය දැන් පිවිසෙන්නේ අතරමැදි කලාපයට යි. එසේනම් අවසරයි ගලා බසින්න ට දුම්බර මිටියාවත ට.....
සටහන - ජැකා
#මහවැලිගග #දෙක #mahaweliriver (මූලාශ්‍ර: සිතියම්, අන්තර්ජාලය හා පෞද්ගලික සංචාර ඇසුරිණි.)
Comments