top of page
Search

මහා වාලුකා ගගදිගෙ - 04

  • Writer: Jeewe
    Jeewe
  • Apr 27, 2020
  • 5 min read

Updated: Nov 5, 2020

මහාවාලුකා නදිය හෙවත් මහවැලි ගංගාව 04 කොටස - දුම්බර මිටියාවතෙන් මියුගුණ පුරට...


තම දිවියේ මැද භාගය ගෙවා දමමින් සිටින මහවැලිය ට රිසි සේ ගලා යාම ට ඉඩ නැත. මහා වේලි ත්‍රිත්වයක් මගින් ඒ ගමන අවුරා ඇත. මහවැලි ව්‍යාපෘතිය මගින් මහා ජලාශයන් ඉදිකරමින් දේශීය ආර්ථිකය ට සවියක් වූවා සේ ම එහි ජල පෝෂක ප්‍රදේශයන් වටා රක්ෂිත පිහිටුවීම ට අමතක නොකළේය.




මේ අනුව වික්ටෝරියා - රන්දෙණිගල - රන්ටැඹේ (VRR) ජලාශයන් වටා පිහිටි හෙක්ටයාර 42,000 ක පමණ වපසරියක් පුරා දිවයිනේ විශාලතම අභය භූමිය පිහිටුවන ලදි. අතරමැදි මෝසම් වනාන්තරන් වන මෙහි දැවැන්ත හස්තීන් ගේ සිට පුළුල් පරාසයක සත්ත්ව හා ශාක සංහතියක් නිරීක්ෂණය කළ හැක. මහ ඝන කැලයෙ හි පිහිටි රන්දෙණිගල ජලාශය මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිවූ විශාලතම ජලාශය ද වේ. බඹරබැද්ද රක්ෂිත වල සිට මහ වනය මැදින් ගලා එන 'මා ඔය' උතුරු දෙසින් පැමිණ රන්දෙණිගල ට එක් වේ. රන්දෙණිගල දකුණු ඉවුරෙන් දැවැන්ත ජල කදක් එක්කරමින් 'බෙලිඋල් ඔය' ද එක් වේ. පිදුරුතලාගල උතුරු බෑවුම් වලින් ගලා එන සීතල දිය කදුරු සුන්දර මන්දාරම්නුවර දී සංචාරක නෙත් සිත් පැහැර ගනිමින් පදියපැලැල්ල, මුංවත්ත පෙදෙස් පසුකරමින් මෙසේ 'බෙලිඋල් ඔය' ලෙසින් මහවැලිය ට එක් වේ.




නිසොල්මනේ ගලාබසින බෙලිහුල්ඔය මුල් දියවර


මහවැලි රජ මාවතේ බෙලිඋල් ඔය පසුකර මදක් ඉදිරියට ගිය විට හමුවන්නේ 'කීර්තිබණ්ඩාරපුර' ග්‍රාමය යි. මහ වැන මැද හුදෙකලා ව ඇති, මහනුවර සිට බදුල්ල දක්වා යනෙන බොහෝ දෙනා නැවතී ගිමන් හරින මෙපුර මදකට නැවතී යටගියාව සෙවිය යුතු යැයි සිතේ.

කන්ද උඩරට සෙංකඩගල රාජධානියේ රජ පැමිණි 'කීර්ති ශ්‍රී රාජසිංහ' රජුන් හට 'කීර්ති බණ්ඩාර' නමින් පුතෙකු විය. ඔහු පිළිබද ව ඊර්ෂ්‍යාවෙන් පසුවූ රජු ගේ බිසෝවරුන් හා ඇමැතියන් විසින් ගතු කේලම් පවසා රජතුමා තුළ ඔහු ගේ ප්‍රතිරූපය බිද වට්ටන ලදි. මෙයින් කණස්සල්ල ට පත් කීර්ති බණ්ඩාර තෙමේ රජ මාලිගයෙන් බැහැර ව ගුරුදෙණිය ප්‍රදේශය ට පැමිණ මහා වෙල් යායක් අස්වද්දන ලදි. මේ පිළිබද ආරංචිය රජු ගේ කණ වැකුණු අතර එහි සත්‍යතාවය සිය දෙනෙතින් ම දැක බලා ගැනීම ට පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු හට තම පුත්‍රයා පිළිබදව අප්‍රමාණ සතුටක් ඇති විය. එනමුත් යළිත් ක්‍රියාත්මක වූ බිසෝවරුන් ප්‍රමුඛ ඇමති වරුන්ගේ ගතු නිසා රජතුමා විසින් එම වෙල්යාය පවරා ගන්නා ලදි. එයින් නොසතුට ට පත් කීර්ති බණ්ඩාර තෙමේ මහනුවරින් ඈත පිහිටි වලපනේ දනව්ව වෙත පැමිණෙන ලදි. එහිදී ඔහු විසින් යළිත් වතාවක් සුවිසල් වෙල් යායක් අස්වද්දා ඇත. යළිත් මේ පිළිබදව ආරංචි වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු මෙම වෙල්යාය වෙත පැමිණි අතර එහිදී ද සිදු වූයේ පෙර දේ ම ය. මෙයින් කණස්සල්ල ට පත් කීර්ති බණ්ඩාර තෙමේ අසල තිබූ හෙලකින් පැන තම දිවිතොර කර ගෙන ඇත. මරණින් පසුව එතුමන් දේවත්වය ට පත් වී එම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු බලට උපකාර කරන බව ජනප්‍රවාදයේ සදහන් ව ඇත. කෙසේ වුව ද මේ සම්බන්ධ විවිධ මතිමතාන්තර පවතී. කීර්ති බණ්ඩාර යනු සාමාන්‍ය ගැමියෙකු බව ද රජු විසින් ඔහු අල්ලවා බලහත්කාරයෙන් හෙලෙන් පහළ ට තල්ලු කළ බව ද කියවේ. කෙසේ හෝ එක් දෙයක් පැහැදිලිය. එනම් 'කීර්ති බණ්ඩාර දෙවියන්' යනු ගොවිතැන නිසා දේවත්වයට පත් වූ බව ය. 'මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසු ය' යන කියමන භාවිතයට පැමිණියේ ගැමුණු කුමාරයා ගේ පුවත නිසා ය. ඒ මහවැලි නිම්නයේ කොත්මලේ දී ය. ගොවිතැන නිසා දේවත්වය ට පත් වූවන් ගැන ඇසෙන්නේ ද මහවැලි නිම්නයෙන් ම ය. මහවැලි ය යනු මෙරට හදබිම යැයි පැවසෙන්නේ ඒ නිසා ය. පසුව කීර්ති බණ්ඩාර දෙවිදුන් වෙනුවෙන් දේවාලයක් 'සැරසුම්තැන්නේ' දී ඉදිවී තිබේ. 1818 උඩරට මහ කැරැල්ල සදහා සේනාව 'සැරසුණු' ස්ථානය 'සැරසුම්තැන්න' වී තිබේ. පසුව මෙම ප්‍රදේශය රන්දෙණිගල ජලාශය ට යට වී ඇති අතර එනිසා දෙවියන් ට කැප කර නව දේවාලයක් කීර්තිබණ්ඩාරපුර මංසන්ධිය අසල ඉදි වී ඇත.



කීර්ති බණ්ඩාර පුරයේ සශ්‍රීක කෙත්වතු


පිදුරුතලාගල කදුවැටියේ ඊසාන දිග බෑවුම් වලින් උපත ලබා මහකුඩුගල, හයිෆොරස්ට් ආදී ප්‍රදේශවලින් පෝෂණ ය ලබමින් වලපනේ නගරය ආසන්නයෙන් පැමිණෙන 'කුරුදු ඔය'  ද රන්දෙණිගල ජලාශය ට එක් වේ. ජලාශය ට එක් වීමට ප්‍රථම කුරුදු ඔය වලපනේ නගරාසන්නයේ දී සුන්දර 'කුරුදු ඔය ඇල්ල' නිර්මාණය කරයි. මෙය දිවයිනේ තෙවන උස ම දිය ඇල්ල ලෙස වැජඹෙන අතර එහි පහළ කුඩා ජල විදුලි බලාගාරයක් ද වේ.




වලපනේ අසිරිය සුන්දර කුරුදුඔය ඇල්ල

මහවැලියේ ගමන අවුරාලමින් වැද්දන්දමන කන්ද හා රන්දෙණිගල කන්ද අතර කළුගල් පිරවූ වේල්ලක් බැදමින් ඉදිකර ඇති රන්දෙණිගල වේල්ල සැලකෙනුයේ මෙරට ඉදිවූ ජලාශ අතුරින් අවම ගම්බිම් ප්‍රමාණයක් යට වූ ජලාශය ද වනවා. වේල්ල ට පහළින් පිහිටා තිබෙන රන්දෙණිගල ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 126 ක විදුලියක් ජාතික විදුලි බල සැපයුමට එක් කරයි. රන්දෙණිගල වේල්ලෙන් අනතුරුව ඇත්තේ රන්ටැඹේ ජලාශය යි. මෙහි මුල් කොටසේ මහවැලිය හරහා වැටී තිබුණු පාලම මීට වර්ෂ කිහිපයකට පෙර  රන්දෙණිගල ජලාශයේ වාන් දමන අවස්ථාවේ එහි ජල පහරට කැඩී ගොස් ඇත.



කුකුලාගල සිට

රන්දෙණිගල රන්ටැඹේ ජලාශ වලපනේට දිස්වන අයුරු


රන්ටැඹේ ජලාශය යනු මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිවූ කුඩා ම ජලාශය යි. එහි ඇති බලාගාරයෙන් මෙගාවොට් 49 ක විදුලියක් නිපද වේ. රන්ටැඹේ ජලාශය වෙත එක්වන එක ම අතු ගංගාව වන්නේ උමා ඔය යි. මේ ආශ්‍රිත ව ඇරඹි බහු කාර්‍ය යෝජනා ක්‍රමය නිසා උමා ඔය වැඩි වශයෙන් මෙරට සමාජයේ කතා බහට ලක්විය. පිදුරුතලාගල කදු වැටියේ නැගෙනහිර බෑවුම් වලින් ඇරඹී මනස්කාන්ත 'පෙම්වතුන් පැන්න ඇල්ල' නිර්මාණය කරමින් පැමිණෙන දිය දහරාවලින් උමා ඔය ඉපදේ. කණගාටුවට කරුණ නම් මෙම දිය ඇල්ල ට ඉහළ ප්‍රදේශයෙන් එළවළු වගාවන් සදහා අධික ලෙස ජලය ලබා ගැනීම නිසා මෙහි සුන්දරත්වය වත්මනේදී වියැකී ගොසිනි. ඉන් පසුව බොරලන්ද ප්‍රදේශයේ දී බෝඹුරු ඇල්ල ජලාශය නිර්මාණය කර ඇත. එම ජල පහර ඉන් අනතුරුව සදතැන්න හරහා ගොස් පේරවැල්ල ප්‍රදේශයේ දී තවත් සුන්දර ඇල්ලක් නිර්මාණය කරන අතර, එය 'බෝඹුරු ඇල්ල/ පේරවැල්ල ඇල්ල' ලෙස හදුන්වයි.



සිංහ ලීලාවෙන් වැජඹෙන සුන්දර බෝඹුරු


මේ ගලන්නෙ උමා ඔයේ මුල් දිය දහරයි

මෙසේ කෙමෙන් කෙමෙන් ඉදිරිය ට යන විට කටුමාන පෙදෙසින් ඇරඹී හක්ගල හරහා ගලා බසිමින් එන තවත් ජල පහරක් වැලිමඩ නගරයේ දී බෝඹුරු ඇල්ල ඔය වෙත එකතු වේ. මහඑළිතැන්නේ පිහිටි තොටපොළ නැගෙනහිර කදු බෑවුම් වලින් දිය කදුරු වලින් උපදින 'ඇල්ලතොට ඔය' තවත් දිය පහරවල් කිහිපයක එකතුවෙන් 'මාතැටිල්ල ඔය' නිර්මාණය කරයි. ඉන් පසුව ඇටම්පිටිය ආසන්නයේ දී ඔයවල් දෙක එකතු වී 'උමා ඔය' නිර්මාණය වේ. එම දෙමංසලට ප්‍රථම උමා ඔය ව්‍යාපෘතිය මගින් 'ඩයරබා' හා 'පුහුල්පොල' යන ජලාශ ද්විත්වය නිර්මාණය කර ඇත. උමා ඔය ව්‍යාපෘතියේ අනිසි බලපෑම් හේතුවෙන් එය 'කදුළු ගංගාව' ලෙසද ඇතැමෙක් හදුන්වයි.

දැන් උමා ඔය ගලන්නේ ඌව පරණගම ඔස්සේ ය. 'ඌව' ට ඒ නම සෑදුණු සැටි ද අපූරුය. ඉතා දැඩි මොහොර බෑවුම් වලින් යුක්ත මෙහි සුළං කපොළු විශාල ප්‍රමාණයක් පිහිටා ඇත. එම කුළු අතුරින් සුළං හැමීමේ දී 'හූවක්' ආකාරයෙන් හඩක් නැගෙන නිසා, 'හූව', 'ඌව' වී ඇත. ඌවෙ හි පැරණිත ම ගම්මානය 'ඌව පරණගම' යි. මෙම ප්‍රදේශය දිවයින පුරා පරසිදුව ඇත්තේ අර්තාපල් හා උඩරට එළවළු සදහායි. බෝගොඩ පාලම හා හලාබ පාලම් උමා ඔය ආශ්‍රිත ව ඇති විශේෂ නිර්මාණයන් වේ. ඌව බෑවුමෙන් සමුගෙන හනි හනිකේ මහවැලිය ට තුරුළු වීමට යන උමා ඔය ට අතරමග දී තවත් සගයෙක් හමුවේ. ඒ උඩුපුස්සැල්ලෑව හා රාගල කදු වල සිට ගලා එන 'මඩුල්ල ඔය' යි. මඩුලු ඔය උමා ඔයට එක් වීමට ප්‍රථම යටිමාදුර දී අපූර්ව නිමැවුමක් කරයි. ඒ 'ගොළුමලේ මකරය' යි. මඩුලු ඔයෙ හි ජලය එක්වරම පොළොව ඇතුළට ගමන් කරන අතර එය යළිත් වෙනත් ස්ථානයකින් මතුපිට ට පැමිණේ. එම ස්ථානය හරි අපූරුය. හතරැස් කොටුවක් වැනිය. එය මිනිස් නිර්මාණයක්දෝ යි සිතේ. කෙසේ හෝ මේ පිළිබදව පැහැදිලි මතයක් නොමැති වුවද අපූර්ව නිර්මාණයක් දායාද වී ඇත.



උමා ඔය ගොලුමලේ මකරයේදි- චායාරූප : ලසන්ත ධනපාල



මෙතැන් සිට උමා ඔය නුවරඑළිය හා බදුල්ල සීමා වන් ලකුණු කරමින් හෑගස්උල්ල කදු පසුකරමින් ගොස් රන්ටැඹේ දී මහවැලිය සිප ගනී.

රන්ටැඹේ දී මහවැලි ඉවුරේ තවත් සුවිශේෂි ඉසව්වක් හමුවේ. ඒ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානය යි. දස දහස් සංඛ්‍යාත පාසල් භටයන ගේ මතක ගොන්නක් දරාගනිමින් දේශයට සුවිශාල මෙහෙයක් ඉටුකරන මෙම ස්ථානය සැබැවින් ම මහවැලිය ට ආඩම්බරයකි. ඉන්පසුව මහවැලියෙ හි තවත් සුවිශේෂි නිමැවුමක් හමුවේ. ඒ පළමු අග්බෝ රජ දවස ඉදි වූ 'මිණිපේ අමුණ හා ඇල මාර්ගය' යි. ගං වක්කලමක ස්වභාවික පිහිටීම අපූරුවට උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම අමුණ හෙළ වාරි තාක්ෂණයේ මහිමය විදහා පායි. හෙමි හෙමින් ගලා බසින මහවැලිය මිණිපේ දී උතුර ට මහා නැම්මක් සාදමින් ගලා බසියි. මෙහිදී ඇල්ල, නමුණුකුල ආදී පෙදෙස් වලින් එන ජල පහරවල් වලින් නිර්මාණය වන බදුලු ඔය ද ලොග්ගල් ඔය ද හේපොල ඔය ද මහවැලිය ට එක් වේ. බදුලු ඔය මහවැලිය ට එක් වීමට ප්‍රථම සොරණාතොට දී දිවයිනේ ඇති සුන්දරත ම ඇල්ලක් වන දුන්හිඳ ඇල්ල නිර්මාණය කරයි.

ඇය දැන් මහළු ය. විඩාබර ය. එහෙත් නැවතීම ට ඉඩක් නොමැත. තව බෝ දුර යා යුතුය. තම කුළුදුල් ප්‍රේමවන්තයා වූ හිච්චි සන්දියේ සිට ම කෙළිකම්, දගකාරකම් කළ මධ්‍යම කදුකරයට සමු දීම ට ඇය ට සිදුවේ. කදු, කුළු වලට සමු දී ඇය මේ සැපත් වන්නේ 'මියුගුණ පුරවරය' ටයි.....!


සටහන - ජැකා


#මහවැලිගග #හතර #mahaweliriver (මූලාශ්‍ර : සිතියම්, ගග දිගේ වැඩසටහන, ජනකතා හා පෞද්ගලික සංචාර ඇසුරිණි.)

 
 
 

Comments


bottom of page