top of page
Search

මහා වාලුකා ගග දිගේ-01

  • Writer: Jeewe
    Jeewe
  • Apr 18, 2020
  • 4 min read

මහා වාලුකා නදිය හෙවත් මහවැලි ගංගාව 01 කොටස- මහඑළිතැන්නේ සිට පස්බාගේ කෝරළය දක්වා....


පෙරදිග ධාන්‍යාගාරයට සුවිසල් දායකත්වයක් සපයමින් අග්‍රගණ්‍ය මෙහෙවරක යෙදෙන මහවැලි ගග දිවයිනේ දිග ම ගංගාවයි. එය දිගින් කිලෝමීටර් 335 කි. එමෙන් ම මහවැලි ද්‍රෝණිය දිවයිනේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 1/5 ක වපසරියක විහිද පවතී.

මහවැලි ගග නිර්මාණය වන්නේ කොත්මලේ ඔයට හැටන් ඔය එක් වීමෙණි. එහි අක්මුල් සොයා යාමේදී මුල් දියවර සොයා මහඑළිතැන්නට යාමට සිදුවේ.



මහඑළිතැන්න යනු දිවයිනේ උසින් ම පිහිටි පතන් බිමයි. එහි කදුකර තෙත් පතන් හා වළාකුළු වනාන්තර ලක්ෂණ ව්‍යාප්ත ව පවතී. අතීත රජවරුන් විසින් ඉහළ කදුකරයේ රක්ෂිත පණ මෙන් ආරක්ෂා කළහ. නමුත් ඉංග්‍රීසීන් විසින් උඩරට යටත් කරගැනීමෙන් අනතුරුව සියල්ල වෙනස් විය. මහඑළිතැන්න ට සිදුවූ කෙණෙහෙළිකම් බොහෝ ය. මහඑළිතැන්න, හෝටන්තැන්න බවටත්, ගෝණඇල්ල බේකර් ගේ දිය ඇල්ල බවටත් වෙනස් විය. මහවැලියේ අතු ගංගා අතුරින් ඈතින් ම පිහිටි හා උසින් ම පිහිටි දිය දහර වන්නේ අග්‍රා ඔයයි. මෙම අග්‍රා ඔය ආරම්භ වන්නේ තොටුපොළ, අග්‍රාබෝපත්, හා කිරිගල්පොත්ත යන කදුවලින් ලැබෙන දිය දහරාවන් එකතු වීමෙනි. කිරිගල්පොත්ත, තොටුපොළ හා අග්‍රාබෝපත් යන කදු පිළිවෙලින් දිවයිනේ දෙවන, තෙවන හා සිව්වන උස ම කදු මුදුන් වේ. මෙසේ මහඑළිතැන්නෙන් ගලා එන අග්‍රාබෝපත් ඔය ඩයගම ප්‍රදේශය දී අග්‍රා ඇල්ල නිර්මාණය කරමින් මිනිස් පහස විදගැනීම ට සැරසෙන අතර එතැන් සිට අග්‍රා ඔය යන නම් ලබයි.




එතැන් සිට මෙම නොඉඳුල් ගං කොමලිය ට සිදුවන අතවරයන් බොහෝ ය. ඩයගම, ආගරපතන පසුකරමින් හෙමි හෙමින් පල්ලම් බසින අග්‍රා ඔය ට මරියා ප්‍රදේශයේදී තවත් දිය දහරාවක් එකතු වේ. ඒ අඹේවල කදුවල සිට සාරවත් තණබිම් ඔස්සේ ගලා එන දඹගස්තලාව ඔය යි. දඹගස්තලාව ඔය වළාකුළු වනාන්තරවල සිට එල්ජින් තේ යාය ට එක්වන්නේ නිකම්ම නොව සුන්දර වූ එල්ජින් ඇල්ල නිර්මාණය කරමින් ය. නානුඔය සිට අඹේවෙල දක්වා දුම්රියෙන් යන සියළු දෙනා ගේ සිත් මොහොතක ට ඇද බැද තබාගැනීම ට ඇය සමත් ය. මහ වන මැදින් තරමක් දුෂ්කර ගමනකින් මෙම ස්ථානය ට ළගා විය යුතු බැවින් එල්ජින් ඇල්ල තවමත් නොඉදුල් ව පැවතීම සැනසීම ට කරුණකි. තවත් වැදගත් කරුණක් මෙහි සදහන් කරනු කැමැත්තෙමි. එනම් දඹගස්තලාව ඔය හා අග්‍රා ඔය ට එල්ල වී අතරවරයන් ගැන ය. මෙම නොඉදුල් දිය දහරාවන් මගින් කුඩා ජල විදුලි බලාගාරයන් රාශියක් බලගැන්වෙන අතර මෙනිසා පරිසර පද්ධතියේ සමබරතාවය ට එල්ල වී ඇති බලපෑම සුළුපටු නොවේ. එහි දැනට පිහිටා තිබෙන හා අළුතෙන් ඉදිවෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාරයන් නිසා මහවැලියේ මුල් දිය දහරාවන් ගලා යනුයේ විටින් විට ය. මෙවන් අවහිරකම් ඉදිරියට ගලා යන අග්‍රා ඔය ට තලවකැලේ නගරාසන්නයේ දී නානුඔය එකතු වේ. පිදුරුතලාගල රක්ෂිතයේ දියවරවලින් උපත ලබා නුවරඑළිය නගරයේ දී ග්‍රෙගරි වැව ට ජීව්ය දෙමින් නානුඔය නගරය හරහා උඩරට දුම්රිය මගට සමාන්තර ව ගලා විත් අග්‍රා ඔය ට නානුඔය ද එක් වූ පසු 'කොත්මලේ ඔය' නිර්මාණය වේ.



කොත්මලේ ඔය දිගු ගමනක් යාම ට සැරසුණා පමණි. එයට අවසර නැත. නැවතිය යුතුව ඇත. ඒ ඉහළ කොත්මලේ වේල්ල නිසාවෙනි. තලවාකැලේ නගරයේ දී වේල්ලක් මගින් කොත්මලේ ඔයෙහි ගමන් මග උපන් ගෙයිහි ම අවුරා ඇත. අතිරික්ත ජලයෙන් කොත්මලේ ඔය ගලා ගියද එහි පෙර තිබූ ජවය නැත. ඉන් පසුව සාන්ත ක්ලෙයාර් (St. Clair) වතුයායේ දී කොත්මලා ඔය ඇදහැලෙනුයේ අතිශයින් චමත්කාරජනක දිය ඇල්ලක් නිර්මාණය කරමින් ය. සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සැලකෙනුයේ දිවයිනේ පළල් ම දිය ඇල්ල ලෙස ය. මෙසේ ගලන කොත්මලා ඔයට කොටගල ප්‍රදේශයේ සිට පැමිණෙන දිය දහරාවක් ද එක් වේ. එම ජලකද එක්වනුයේ තවත් මනස්කාන්ත දිය ඇල්ලක් නිර්මාණය කරමින් ය. ඒ උසින් මීටර 97ක් වූ ඩෙවෝන් (Devon) ඇල්ල ය. Elgin, St. Clair. Devon. දිවයිනේ සුන්දරත ම දිය ඇලි වලට සුද්දන් ගේ නම් ලැබී ඇති සැටි.... මෙතෙක් තේ යායවල් මැදින් ගලා බැසි කොත්මලා ඔය ඉනික්බිති පිවිසෙනු යේ හෙළ ගොවිකම රජ වුණු කොත්මලේ දනව්වටයි. ගැමුණු කුමරුන් විසින් සැගවී සිට මහත් වූ විස්කම් පෑ මෙම භූමිය අදට ද ශශ්‍රීකත්වයෙන් බැබලෙයි. මහා බටහිර (Great Western : 7වන උසම කන්ද) කදු වැටියේ බටහිර බෑවුම් වලින් ආරම්භ වී තරමක් දළ බෑවුම් ඔස්සේ රණරජ ඇල්ල, ඩන්සිනන් ඇලි නිර්මාණය කරමින් පැමිණෙන 'පූඩළුඔය' මල්දෙණියේ දී කොතමලා ඔය හා එකතු වේ. මේ දීගය ට වැඩි ආයුෂ නැත. ඒ තිස්පනේ කන්දත් කඩදොර කන්දත් හරස් කර ඉදිකර ඇති කොත්මලේ වේල්ල නිසා ය. මහවැලි මහා ජලාශ වලින් මුහුදු මට්ටමේ සිට ඉහළින් ම ඉදිවූ කොත්මලේ ජලාශය ට පෞරාණික ගම්බිම්, කෙත්වතු රාශියක් යට විය. ගැමුණු කුමරුන් කොත්මලය ට ඇතුළු වූ දෙහදු කඩුල්ල, එතුමන් අස්වැද්දූ මාස්වෙල වෙල්යාය, එතුමන් ජලස්නානය කළ රණමුරේ පිහිල්ල අදට ද එහි දැකගත හැක. පිදුරුතලාගල රක්ෂිතයෙන් උපත ලබන තවත් ජල දහරාවන් කිහිපයක් ම කොත්මලේ ජලාශය ට එකතු වේ. සුන්දර පූනා ඇලි යුග්මය සාදන 'පූනා ඔය', මනස්කාන්ත දිය ඇලි හතක් සාදමින් ඇද හැලෙන 'රම්බොඩ ඔය', රාවණා රජුන් ගේ කරත්ත පාර (Chariot path) සිට පැමිණ ගැරඩි ගිණි ඇලි දාමය සාදමින් ඇද හැලෙන 'දේවතුරා ඔය' මෙසේ කොත්මලේ ජලාශය පෝෂණය කරන ජල දහරාවන් ය. වේල්ලෙන් පසුව හැදින්වීම ට කොත්මලේ ඔයක් නොමැත. ඇත්තේ මළ ගග කි. ඉන්පසුව කොත්මලේ ඔයට ජීවයක් එක්වන්නේ එයට අටබාගේ ඔය එක්වීමත් සමග ය. ලූල්කදුර රක්ෂිතයෙන් උපත ලබා පුපුරැස්ස ප්‍රදේශ හරහා ගලා එන අටබාගේ ඔය ට කොත්මලේ ජල විදුලි බලාගාරයෙන් පිටවන අතිරික්ත ජලය ද එකතු වේ. මෙසේ ගලා එන කොත්මලේ ගං කොමලිය පිළිගැනීමට තවත් අයෙක් බලා සිටී. ඒ 'හැටන් ඔය' යි.




හැටන් නගරය ආසන්නයේ දී Abbotsleigh හා Dunbar වතු යායන්ගෙන් එන දියවරින් කුඩා ජල කදුරක් ලෙස 'හැටන් ඔය' උපත ලබයි. ලක්දිව බොහෝ දෙනා අතර ඇති මතය වන්නේ මහවැලි ගග සමනළ කන්දෙන් උපත ලබන බවයි. නමුත් භූගෝලිය ව එසේ වීමට ඉඩකඩක් නොමැති බව එම ප්‍රදේශයෙ භූ පිහිටීම අනුව නිර්ණය කරගත හැකි වේ. හැටන් නගරය පසුකරමින් රොසැල්ල, වටවල ප්‍රදේශ පසුකරගෙන අතරමග තවත් දියදහරාවන්ගෙන් ජවය ලබා හැටන් ඔය අඹගමු කෝරළයට සේන්දු වේ. ගිනිගත්හේන නගරය පිහිටා ඇත්තේ කෙහෙළ්ගමු ඔයෙ හි හා හැටන් ඔයෙ හි නිම්නයන් හි නෙරුවෙයි. මෙනිසා ගිනිගත්හේන නගරයේ පොලිස් ස්ථානයේ වහලෙන් එක පලයක ජලය කැළණි ගගට ද අනික් පලයෙහි ජලය මහවැලි ගගට ද එක්වෙන බව කියවේ. මෙසේ අඹගමුවෙන් සෙමින් සෙමින් ගලා යන හැටන් ඔය ට ඉන්පසුව පිවිසෙනුයේ පස්බාගේ කෝරළයටයි. එහිදී නාවලපිටිය නගරයට පෙරාතුව එක්වන ඉගුරු ඔය මගින් එහි චමත්කාරය දෙගුණ තෙගුණ කරයි. ඉගුරු ඔය ජල පහරවල් රාශියක එකතුවක් වන අතර එහි ශාඛාවක් ගල්බොඩ ප්‍රදේශයේදී මීටර 100ක් පමණ පහළ ට වැටෙමින් සුන්දර 'ගල්බොඩ ඇල්ල' නිර්මාණය කරයි. එමෙන් ම Hightnford දුම්රිය ස්ථානය ආසන්නයේ දී විශාල ගල්තලාවක් මතින් සුදු සෙලයක් සේ ගලා යමින් 'සුදුගග ඇල්ල' නිර්මාණය කරයි. මෙම ස්ථානය බොහෝ දෙනා අතර ප්‍රකට ව ඇත්තේ 'ගල්පොත්ත' ලෙසයි. නාවලපිටිය නගරය මදක් පසුකරමින් ඉදිරිය ට යන හැටන් ගගේ සවිය ට 'කඩියල්ලෙන ඔය' ද එකතු වේ. එය කඩියල්ලෙන නගරය ආසන්නයේදී කොටස් තුනකට ඇදහැලෙමින් සුන්දර 'කැටබූලා/කඩියල්ලෙන ඇල්ල' නිර්මාණය කරයි. තම තරුණ අවදිය ගෙවා නිම කරමින් ඉදිරියට ඇදෙන හැටන් ඔය මේ සැරසෙන්නේ පරිණත අවධිය ගෙවා දැමීමටයි. ඒ තනිව නොවේ. මහඑළිතැන්නෙන් පටන් කදුහෙල් තැනිතලා ඔස්සේ බොහෝ මහන්සී වී පැමිණෙන කොත්මලේ ඔයත් සමග අත්වැල් බැද ගනිමිණි. පොල්වතුර ප්‍රදේශයේ දී කොත්මලේ ඔය, හැටන් ඔය සමගින් එකතු වී මහා ජල කදක් නිර්මාණය වේ. ඒ අන් කිසිවක් නොව හෙළයේ මහා ප්‍රණාලිය වන් 'මහවැලි ගග' යි.............


සටහන : ජැකා


 
 
 

Comentarios


bottom of page