Ambalanmana trekking /අම්බලන්මාන තරණය
- Jeewe
- Oct 2, 2019
- 3 min read
Updated: Oct 5, 2019
දිනය : 2016 සැප්තැම්බර් 23
සහභාගි වූ පිරිස : ඉසුරු , ටෙවින්, අවන්ත,සංජීව
මාර්ගය : ගලහා හන්දිය-ගලහා -පේරවත්ත- බෙල්වුඩ්- අම්බලන්මාන-නැවත පෙර මාර්ගයෙම
පිහිටීම :
දර්ශනපථය :හන්තාන ,ගලහා- දෙල්තොට නිම්නය,කොණ්ඩගල,බිත්තිගල,බෙල්වුඩ්
විශේෂ : සර්පයන් බහුල ප්‍රදේශයක් බැවින් සපත්තු පැලදීම වඩා සුදුසුය
ශරිරය හොදින් ආවරණය වූ ඇදුමක් වඩා සුදුසුය
ජලය 2l පමණ රැගෙන යාම අත්‍යාවශ්‍ය වේ
මහනුවර සානුව කදුපන්ති රාශියකින් වට වූ නිම්නයකි.ඊසාන දෙසින් නකල්ස් කදු වලල්ලෙන්ද නැගෙනහිරින් හා දකුණින් හාන්තානෙන් හා පිදුරුතලාගල මුල් උස්බිම් වලින්ද බටහිරින් දොලොස්බාගෙ සිට අලගල්ල දක්වා වූ කදුවලල්ලෙන්ද වට වී පවතී.මෙම කදුපන්ති වලට මැදිවූ හුදකලා කදුද නැතුවාම නොවේ.අද අපගෙ ගමන එවන් අප්‍රසිද්ධ හුදකලා කන්දක් වෙතයි.කදු තරණයකරන්නන් අතර තරමක් අප්‍රසිද්ධ අම්බලන්මාන, මීටර 1130 පමණ උසකින් යුක්ත වේ.බෙල්වුඩ් සංචාරක ගමනාන්තය වෙත යන බොහොදෙනෙකුගෙ නෙත ගැටෙන සුන්දර දසුනක් වන මෙය ඇතැමුන් බෙල්වුඩ් කන්ද ලෙසද හදුන්වයි.
සතිඅන්තයේ කොහේ හෝ ඉබාගාතේ ඇවිදීම ටෙවින්ගෙත් මගෙත් පුරුද්දක් වූ අතර මෙවර අවන්තද අප සමග එකතුවිය.සිකුරාදා උදෑසනම අවන්තගේ කෙටි දැනුම් දීමකින් අපි තිදෙනා කඩිමුඩියේ ගලහා හන්දියට ලගාවුයේ ඉසුරුගේ(ජැකා) නිවස බලා පිටත්වීමටයි.පැයක පමණ ගමනකින් පසු උදෑසන 9.30ට පමණ අපි ගලහා වත්ත ප්‍රදේශයට ලගාවුනෙමු.අප එනතුරු මග බලාසිටි ජැකා ඔහුගේ පුරවරයට අප සාදරයෙන් පිලිගත්තේය.ඔහුගේ නිවසට ගොඩ වී තේ කොප්පයක රස විදි අප වැඩි පමාවකින් තොරව බෙල්වුඩ් බලා පිටත් උනෙමු.අප ගමන්ගත්තෙ ගලහ සිට මොරගොල්ල හරහා තලාතුඔය මාර්ගය ඔස්සේය.මාර්ගයෙ මුල් කොටස සංවර්ධනය කොට තිබු අතර අවසාන කොටස වැඩ නිමවා තිබුණේ නැත.නමුත් මෙම මාර්ගයේ මොරගොල්ල සිට ගලහා දක්වා එක් බස් රථයක ගමන් කරන බව ජැකා පැවසිය.මාර්ගය දෙපස වූ වතු ජනාවාස අතර තැනින් තැන කුඩා දේවාල ඉදි කර ඇති බව නිරික්ෂණය වූ අතර ප්‍රදේශයෙ බහුතරය වන දෙමළ ජනයාගෙ පාරම්පරික ඇදහිලි ක්‍රම පිලිබද ජැකාගෙන් දීර්ඝ පැහැදිලි කිරිමක් ලැබුණි.අවසන් ලයින් කාමර පේලිය පසුකර මාර්ගයේ ඉදිරියට ඇදෙනවිට දෙපසින් වු පතන්බිම්වල චමත්කාර දර්ශනයක් දැකගත හැකිවිය.මුලින්ම අම්බලන්මාන දිස්වූයේ ද මෙම ප්‍රදේශයෙදිය.පතන් බිම් පසුකර අපි පෞද්ගලික සමාගමකට අයත් තිරුවානා නිධියක් අසලට ලගාවුනෙමු.එයට ඇතුල්වීමට උත්සහ කලද මුරකරුගෙන් එයට අවසර නොලැබිනි.
මින්පසු අපගේ ඉලක්කය වුයේ නවසීලන්තයේ තණ පිට්ටනියක් බදු වූ හරිත වර්ණයෙන් දිලෙන අම්බලන්මාන මුදුන වෙත ලගාවීමයි.අවට දර්ශනය රසවිඳිමින් මද විවේකයක් ලබාගත් අපි තිරුවානා නිධියෙ එක් පසෙකින් කදු පාමුල වෙත ගමන් කළෙමු.බැලුබැල්මට එය තරමක් පහසු බව පෙනිගිය නිසා ජැකා සමගින් මම කන්දෙ එක් නාරටියක් ඔස්සේ තරණය කරන්නට විය.බැලු බැල්මටම කිසිදු අඩිපාරක් හෝ දැකගත නොහැකිවිය.පෙර කොල පැහැයෙන් දිස් වූ මානා පදුරු දැන් කහ පැහැයට හැරිය.තණ පිට්ටනිය දැන් කහඹිලියා හා මානා පදුරු ලන්දකි.මෙම මානා පදුරු අතර පොලොන්ගුන් හා කුණකටුවන් බහුලව වෙසෙන කරන බැවින් හොද නිරික්ෂණයකින් යුතුව ගමන් කිරිම වැදගත් වේ.කෙසේ හෝ ගල් මුල්වල එල්ලි අප දෙදෙනා පර්වතයකට ගොඩ වූ අතර එහිසිට ඇතින් කදු නගින අලියෙකු මෙන් අවන්ත දැකගත හැකිවිය.අවට දර්ශනයෙන් කුල්මත්ව සිටි ඔහු සහ ටෙවින් අවට පරිසරය ජයාරූපයට නගන්නට විය.අප දෙදෙනා සිටි පර්වතයෙ ස්වාභාවික හැඩය නිසාම ජැකා එයට Devils seat යැයි නම් තැබුවේය.

මාර්ගයක් සොයමින්

Lions seat

කදු නගින ඇත්තු

අමාරුම තැන්

යකාගේ ආසනය

කදු තරණයෙ උපන් හපනෙක් වූ ජැකා ඉදිරියෙන්ම ගමන් කරමින් මාර්ගය සකසන්නට විය.පැයක පමණ වෙහෙකාරි ගමනකින් පසු අපි අම්බලන්මාන මුදුනට ලගාවුනෙමු.කන්දෙ අනෙක්පස ෆයිනස් වගාවක් වූ අතර එය පූලියද්ද ,තලාතුඔය ප්‍රදේශවලට මායිම් විය.කදු මුදුනට හන්තාන සිට මුල් ඔය දක්වා පැහැදිලි දර්ශනයක් දැකගත හැකිය.ගලහ ප්‍රදේශයට ඔබ්බෙන් අම්බුලුවාව දර්ශනය වූ අතර ඊට පිටුපසින් වු අපැහැදිලි කදු පන්තිය බොහොවිට දොළොස්බාගෙ කදු බව ජැකාගෙ නිගමනය විය.



කෙටි විවේකයකින් පසු නැවත පල්ලම්බැසීම ආරම්භ කල අපට පෙර අත්දැකිම් අනුව පහසු මාර්ගයක් සොයාගත හැකිවිය.මුලුගමන පුරා ජැකා පොල්ලක් ගෙන මානා තලමින් කුණකටුවන් සෙවූ අතර අපගෙ වාසනාවට එකෙකු හෝ හමු නොවිනි.මිනිත්තු 45කින් පමණ නැවත අප තිරුවානා නිධිය වෙත ලගාවිය.ගමනෙ සොදුරු තැන් සාකච්ඡා කරමින් අපි ජැකගේ නිවසට පැමිණෙන විට සවස 1.30 පමණ වි තිබුණි.ජැකාගේ නිවසින් දහවල් අහාරය ගත් අප ගලහා ඔයෙන් නෑමටද අමතක නොකලෙමු.ජැකාට සමුදෙමින් සොදුරු මතක ගොන්නක්ද රැගෙන අපි නිවෙස් බලා පිටත් වුනෙමු.
සටහන -ජීවේ
'Explore the unexplored'
Comments